“බෙනට් අජිත්” ඝාතනයේ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

Share

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දිය ප්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පැමිණියේයැයි සැළකෙන මෝටර් රථය හා රියදුරු රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (25) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත, ගාල්ල නෙළුව ප්‍රදේශයේ දී කුලී පදනමට ලබා ගත් එම මෝටර් රථය  සොයා ගෙන ඇති අතර එහි රියදුරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධය සඳහා පැමිණි මෝටර් රථය හා ඉන් පුද්ගලයෙක් බැස යන ආකාරය සීසීටීවි කැමරාවක ද සනිටුහන්ව තිබිණි.

සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය 22 වන දා පෙරවරු 9ට පමණ අම්බලන්ගොඩ ධීවර වරායේ සිට මාළු රැගෙන යතුරු පැදියකින් ගාල්ල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 48 හැවිරිදි අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි “බෙනට් අජිත්” හෙවත් “බූරු අජිත්” නම් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

Read more

Local News