සියලු ව්‍යාපෘති ණය නැවත සමාලෝචනය කිරීමට රජයේ තීරණයක්

Share

සියලු ව්‍යාපෘති ණය නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර තිබෙන බව අගමැති, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ‍ඊයේ (27) පැවසීය.

 

පසුගිය කාල සීමාව තුළ ආරම්භ කළ ඇතැම් ණය ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් අඩු මිලට ඉටු කර ගැනීමේ හැකියාව තිබූ ඒවා බවත් ඇතැම් ව්‍යාපෘතිවලින් ආර්ථික හෝ සමාජීය ලෙස කිසිදු ප්‍රතිලාභයක් නොමැති ව්‍යාපෘති බවත් අගමැතිවරයා කරනු ලැබිය.

වත්මන් රජය ණය වෙනුවට ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර, රජයේ වැය බර අවම කර ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය රජය විසින් අල්පෙනෙත්තේ සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර පවා පිටරටින් ආනයනය කරමින් තිබූ බවයි.

සියඹලා, කහ, වෙසක්කූඩු වැනි දේ පවා ආනයනය කිරීම සිදුවූ අතර, මේ හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් අධෛර්යට පත් වූ සේම නව නිර්මාණ වෙළෙඳපොළට ගෙන ඒම පවා දේශීය කර්මාන්තකරුවන් විසින් අත්හැර දැමූ බවද අගමැතිවරයා පැවසීය. ‍එහෙත් නව රජය අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීම සිදු කරන අතර, මේ හේතුවෙන් විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇති බවත් කීය. කොවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයම අර්බුදයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව ඊට සාර්ථකව මුහුණු දුන් බව අගමැතිවරයා කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශීය ව්‍යාපාරිකයා මූලික කර ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර, රටේ සෑම ජනකොටසකටම ජීවත්වීමේ අයිතිය සුරැකීමට මේ ඔස්සේ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News