ඇහැලියගොඩ ගංවතුර අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට පියවර

Share

දිවයිනට බලපා ඇති තද වැසි කාලගුණික තත්ත්වය සමඟ  ඇහැලියගොඩ ප්‍රදේශයේ ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (07) පැවසීය.

අද (07) වන දින පෙ.ව.6.30ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළ විශේෂ නිවේදනයේ ද සඳහන්ව ඇත්තේ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත්, ගාල්ල සහ මාතර දිසුත්‍රික්කවලත් ඉතා තද වැසි (මි.මී.100-150ක පමණ) ඇතිවිය හැකි බව එම මධයස්ථානය පවසයි. ඊට අමතරව ඌව පලාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තද වැසි  (මි.මී.100ක පමණ) ඇති වීමටද ඉඩකඩ ඇති බව සඳහන් වේ.

මෙම තද වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ එම ප්‍රදේශවල  ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටින ලෙසත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.

Read more

Local News