20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ලබන සිකුරාදා වන විට අවසන්

Share

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබු 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 39 ක විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද දෙවැනි දිනටත් සිදු කිරිමට නියම්තයි.

 

මැදිහත් පාර්ශ්ව වෙනුවෙන් පෙත්සම් 7 ක් ද ඊයේ ඉදිරිපත් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ ප්‍රකාශ කළේ, පෙත්සම් විභාගය ලබන සිකුරාදා වන විට අවසන් කරන බවයි.

එබැවින් එක් නීතිඥවරයෙකුට වාචික දේශන සඳහා ලබාදුන්නේ විනාඩි 30 ක කාලයකි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ වාචික දේශන ආරම්භයට පෙර නීතිපතිවරයා දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි සංශෝධනයට සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

ආදළ සංශෝධන ඇතුළත් ලියවිල්ල ද නීතිපති දප්පුලද ලිවේරා මහතා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේ ය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා පැවසුවේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ලියවිල්ලට එරෙහිව බවයි.

අධිකරණය සළකා බැලිය යුත්තේ පාර්ලිමේන්තු එම ලියවිල්ල මිස කමිටු අවස්ථාවේ සංශෝධනය කිරීමට නියමිත යැයි කියන ලියවිල්ලක් නොවන බව ද සුමන්දිරන් මහතා අවධාරණය කළේ ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ ජනාධිපතිට පූර්ණ මුක්තිය හිමිවීමෙන් නීතියට ද ඉහළින් තනතුරක් නිර්මාණය වන බවයි.

ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට ඇති මූලික අයිතිවාසිකම මින් අවහිර වන බැවින් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව ද ඔවුන් පෙන්වා දුන්නේ ය.

එම නිසා ජනාධිපතිට මුක්තිය යළි ලබාදීම තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු යැයි නීතිඥයින් ප්‍රකාශ කළේ ය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දැරීමට හැකිවීම ගැන අදහස් දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ද්විත්ව පුරවැසියන් විදෙස් රාජ්‍යයන් සමග දිව්රුමක් ඇති බැවින් ලැදියාවන් අතර ගැටුමක් ඇති වන නිසා ජනතාවගේ ස්වෛරී භාවයට බලපෑමක් වන බවයි.

එම නිසා මෙම වගන්තිය ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය.

Read more

Local News