20 සම්මත වූනේ මෙහෙමයි : පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Share

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත විය.

 

 

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු සහ මන්ත්‍රීවරු 65ක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (22) සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම ද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ අතර සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු 7ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමග පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.

ඉෂාක් රහුමාන්, එම්. රහීම්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක්  අනෙක් මන්ත්‍රීවරු 7 දෙනා වේ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වෙයි.

එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව පැවැත්වූ අතර එහිදී විපක්ෂය විසින් විවිධ සංශෝධන ඉදිරිපත් කළේය.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ව වූ වගන්තියට විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලීය.

එම වගන්තියට පක්ෂව මන්ත්‍රීවරු 157 ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට 64 දෙනෙක් විරුද්ධ විය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වීමෙන් පසු අද (23) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිය.

Read more

Local News