මේ වසරේ බදු ආදායම පහළට

Share

මේ වසර තුළ අය කර ගත යුතු ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 207කින් පහළ බැස තිබේ.

 

මේ බව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩබ්ලිව්. සී. බණ්ඩාර මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයට අනුව මේ වසර තුළ රුපියල් බිලියන 613ක් ආදායම් බදු එකතු කළ යුතුව තිබුණද රජය විසින් බදු සහන ලබාදීම සහ රටේ පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අය කර ගත හැකි වූයේ රුපියල් බිලියන 406ක මුදල් ප්‍රමාණයක් බවද ඒ මහතා සදහන් කළේය.

එසේම මේ වසර තුළ ආදයම් බදු දෙපාර්තමේන්තුව විසින් කිසිදු වැටලීමක් සිදු නොකළ බවත් රුපියල් මිලියන 500ට අඩුවෙන් උපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ලබා දෙන ගිණුම් වාර්තා නැවත පරීක්ෂා නොකර එලෙසම පිළිගැනීම සිදු කළ බවත් සඳහන් කරන හෙතෙම ආදායම් බදු ගෙවීම සඳහා සමාගම්වලට සහ පුද්ගලයන්ට ඔන්ලයින් ක්‍රමවේද හරහා ගෙවීමේ පහසුකම් ලබාදී ඇති බවත් තොරතුරු හා දත්ත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට ක්‍රමවේදය සකස් කර ඇති බවත් පැවසීය.

එසේම ආදායම් බදු ගෙවීමේ අවසාන දිනය ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දිර්ඝ කළ බවත් සඳහන් කරන කොමසාරිස් ජනරාල්වරයා ගිය වසරේ මුදල් අමාත්‍යාංශය විසින් නිර්දේශ කළ ආදායම් බදු ප්‍රමාණයෙන් සියයට 98ක්ම අයකර ගත් බවද සදහන් කළේය.

Read more

Local News