13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ දෙවැනි අදියර මෙම වසරේ ආරම්භ කිරීමට සැලසුම්

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව 2017 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාවට නංවන ලද 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ දෙවැනි අදියර මෙම වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තවත් පාසල් 150 ක සිසුන් 14,000 කට වෘත්තිය විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසේ.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් 42 ක සිසු දරුවන් 2,400 ක් මේ වන විටත් අධ්‍යාපනය ලබති.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක ව පවතින අතර,  ඒ අනුව 2018 මැයි මාසය වන විට ගුරුවරුන් 2,100ක් බඳවා ගැනිමට නියමිතයි.

මීට අමතරව දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට තෝරාගත් පාසල් 150 ක් තුළ සුහුරු පන්ති කාමර Smart Class Room 417 ක් පිහිටුවිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ සිසුන්‍ට ප්‍රායෝගික වන වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂයමාලාවට එක්කර තිබේ. අ.පො.ස (සා.පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ 13 වසරක පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසෙන අතර මෙම වැඩසටහන සඳහා 2018 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,500 ක්.

Read more

Local News