2028 වසර වන විට චීනයෙන් ප්‍රමුඛ දේශීය පාරිභෝගික සන්නාම සියයක්

Share

2028 වසර වන විට චීනය ප්‍රමුඛ දේශීය පාරිභෝගික සන්නාම සියයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (7) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, චීන වාණිජ අමාත්‍යාංශය, සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන චීන සාම්ප්‍රදායික උරුමයන් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. විවිධ පියවර ගනිමින් එම කර්මාන්ත ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කෙරෙනු ඇතැයි එහිදී අවධාරණය කෙරිණ.
සේද, තේ, පෝසිලේන්, සාම්ප්‍රදායික චීන ඖෂධ, පැසවීමේ හා පෙරීමේ ශිල්පය, අත්කම්, කලා සහ අධ්‍යයනයේ නිධාන හතර ලෙස සැලකෙන ලිවීමේ බුරුසුව, තීන්ත කූර, ෂුවාන් කඩදාසි සහ තීන්ත ගල් යනාදිය චීන සාම්ප්‍රදායික උරුමයන් වශයෙන් සැ‍ලකේ. පසුගියදා චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් එම උරුමයන් ආශ්‍රිත කර්මාන්ත ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංව‍ර්ධනය කිරීම පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2028 වසර වන විට එම කර්මාන්තයන්හි ප්‍රබල ව්‍යවසායන් 50ක් සවිබල ගන්වමින් ප්‍රමුඛ දේශීය පාරිභෝගික සන්නාම සියයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. එසේම 2030 වසර වන විට ලොව ප්‍රමුඛතම ව්‍යවසායන් හා සන්නාම රැසක් බිහි කිරීමට කටයුතු කරනු ඇතැයි ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News