7වැනි බෞද්ධ මහා සමුළුව ශ්‍රී ලංකාවේදී

Share

බුදු දහමින් පෝෂණය වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව, හත්වැනි බෞද්ධ මහා සමුළුව ජාතික උත්සවයක් ලෙසට නම් කර නොවැම්බර් 02 වැනි දින සිට 07 වනදා දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 02 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන අතර නොවැම්බර් 02 සහ 03  දෙදින සමුළුව අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. නොවැම්බර් 04 වන දින සමුළුවේ සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනු ඇත.

ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප‍්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප‍්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක් වෙති.

” ලෝක සාමය උදෙසා බුදු දහම” යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප‍්‍රකාශයක්  එළිදැක්වීමට ද නියමිතය.

Read more

Local News