ෆින්ලන්තයේ පිහි ඇනුම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’

Share

නිරිත දිග ෆින්ලන්තයේ ටර්කු (Turku) නගරයේදී සිකුරාදා සවස කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව පොලිසිය පවසයි. පාදයට වෙඩි තැබීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රහාරකයා 18 හැවිරිදි මොරොක්කෝ ජාතිකයෙකු බවත් පොලිසිය නිවේදනය කළේය. නිරිත දිග ෆින්ලන්තයේ Puutori-Market Square ප්‍රදේශයේදී පිහියෙන් ඇන මරා දමා තිබෙන දෙදෙනාම ෆින්ලන්ත ජාතික කාන්තාවෝය. ස්වීඩන ජාතිකයෙකු සහ ඉතාලි ජාතිකයෙකු ඇතුළු අට දෙනෙකු එහිදී තුවාල ලැබූහ.

රාත්‍රී කාලයේ අපට ලැබුණු අතිරේක තොරතුරු අනුව මේ අපරාධ ත්‍රස්තවාදී ඝාතන බව විශ්වාස කළ හැකිය,” යනුවෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සැකකාර මොරොක්කෝ ජාතික තරුණයාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙන බව පොලිසිය පවසන නමුත් එය ප්‍රකාශයට පත්කර නැත.

ප්‍රහාරකයා සහ තවත් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති. ටර්කු නගරයේ Puutori-Market Square ප්‍රදේශයේදී එහි ගමන කරමින් සිටි පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමෙන් අනතුරුව ප්‍රහාරකයා චතුරශරය වෙත දිවගොස් තවත් පිරිසකට පිහි පහර එල්ල කළ බව ඇසින් දුටුවෝ පැවසූහ. ඒ අවස්ථාවේ එහි පැමිණි පොලීසය ඔහුට වෙඩි තබා, ඔහු අත්ඩංගුවට ගෙන තිබේ. ෆින්ලන්තය මීට පෙරාතුව කිසිදු ජිහාඩ්වාදී ප්‍රහාරයකට මුහුණ දී නැත.

යුරෝපයට මෑතදී එල්ල වූ ජිහාඩ් ප්‍රහාර

2017 අගෝස්තු 09 – ප්‍රංශයේ පැරිස් අගනුවර සොල්දාදුවන් පිරිසක් දෙසට පුද්ගලයෙක් වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන විත් 6 දෙනෙකුට තුවාල සිදු කළේය

2017 ජුනි 03 – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලන්ඩන් පාලමේ ගමන් කරමින් සිටි පදිකයන් දෙසට ජිහාඩ්වාදීන් තිදෙනෙකු වාහනයක් පදවාගෙන ආ අවස්ථාවේ 8 දෙනෙකු මරුමුවට පත්විය

2017 මාර්තු 22 – ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාලම මත ගමන් කරමින් සිටි ජනතාව වෙතට මෝටර් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් සිවු දෙනෙකු මරා දමා පසුව පොලිස් නිලධාරියෙකුට ද පිහියෙන් ඇන මරා දැමුවේය

2017 අප්‍රේල් 7 – ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර මහජනතාව දෙසට ලොරියක් පදවාගෙන පැමිණි උස්බෙක් ජාතිකයෙක් 4 දෙනෙකු ඝාතනය කළේය

2016 දෙසැම්බර් 19 – ජර්මනියේ බර්ලින් නගරයේදී ටියුනීසියානු ජාතික අනීස් අමීර් නත්තල් කඩ වීදියකට ට්‍රක් රථයක් පදවාගෙන පැමිණ 12 දෙනෙකු මරා දැමුවේය

2016 ජුලි 14 – ජාතික උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ ප්‍රංශයේ නීස් නගරයේ සංචාරකයන් අතර ජනප්‍රිය මංතීරුවක් වෙතට ටියුනීසියානු ජාතිකයෙකු ට්‍රක් රථයක් පදවාගෙන පැමිණ 86 දෙනෙකු මරා දැමුවේය

2014 දෙසැම්බර් – ප්‍රංශයේ Nantes ප්‍රදේශයේ නත්තල් කඩවීදියකට වෑන් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් සහ Dijon ප්‍රදේශයේ පදිකයන් දෙසට මෝටර් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් 20 දෙනෙකුට තුවාල සිදු කළහ

Read more

Local News