වෙඩි තබා ඝාතනය කර තිබු කොටි ධේනුවකගේ සිරුරක් හමුවෙයි

Share

හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබී ඊයේ(21) දිනයේ දී හමුවූ බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක, ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

 

මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහළින් මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී තිබේ.

අවුරුදු 06 ක් පමණ වයසැති කොටි ධේනුව හොඳින් වැඩුණු සතෙකු බවත්, කොටි ධේනුවගේ හිසට වෙඩි තුනක් එල්ල වී ඇති බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ ය.

කොටි ධේනුවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

මිය ගිය කොටි ධේනුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News