පාස්කු ප්‍රහාරයේ රහසිගත සිදුවීම් හෙළි කරන බව පූජිත් කියයි

Share

ඉරුදින ප්‍රහාරය පිටුපස රහසිගත සිදුවීම් රැසක් තිබෙන බවත්, ඒවා ඉදිරියේදීත් හෙළි කරන බවත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් හමුවේ ඊයේ 12 වැනි දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

 

පොලීසිය ඉමහත් දුෂ්කර තත්වයන් යටතේ රාජකාරි සිදු කරන නමුත් ඔවුන්ගේ රාජකාරියට බාධා පැමිණෙන අවස්ථා කිහිපයක් ඇතැයි පූජිත් ජයසුන්දර මහතා සදහන් කළේය.

විදේශ මුදල්, දේශපාලනය , තමන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයන්ගේ පාවාදීම් , විවිධ පර්යේෂණ වෙනත් මගකට යොමුවීම් සහ වෙනත් අභිරහස් හේතූන් ඒ අතර වන බව ඔහු කියා සිටියේ ය.

එමෙන්ම බොළඳ හේතුන් මත තමාව ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් නෙරපා දැමූ බව ද තමා වෙනුවෙන් කවුන්සිලයට ගෙන්වූ නිලධාරියා හට තමන්ට තොරතුරු ලබා නොදෙන තත්ත්වයකට එවක බලධාරීන් කටයුතු කළ බව ද සාක්ෂි ලබා දෙමින් හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ය.

මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු හුදෙක් පොලිස්පති පමණක් ප්‍රහාරයට වග කිව යුතු යැයි කියා නිගමනය කර කොමිසම තමාගෙන් ප්‍රශ්න කරන්නේ දැයි පූජිත් ජයසුන්දර එක් අවස්ථාවකදී කොමිසමෙන් විමසුවේ ය.

අප්‍රේල් මස 19 වනදා තම නිවසට පොලිස් විශේෂ කාර්යාංශය මගින් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාව මගින් වාර්තා දෙකක් ලැබුණු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ අනාවරණ කළේ ය.

අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩිය , පාලම්කුඩා ප්‍රදේශයේ සිදුවූ බයිසිකල් බෝම්බ පිපිරීම සහරාන්ගේ පෙරහුරුවක් බව දන්වා ඇති අතර පිපිරීමට ලක්වූ යතුරු පැදියේ චැසි අංකය අනුව පරීක්ෂණ සිදු කර අදාළ යතුරුපැදිය හිමි පුද්ගලයා සොයා අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ලුහුබැඳීමට උපදෙස් දී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව ලබා දුන් වාර්තා සඳහන්ව තිබුණු බව පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ පිළිගත්තේ ය.

එලෙස සැකකරුවන් ලුහුබැඳීමට බුද්ධි සේවය ලබාදුන් වාර්තාවේ දක්වා ඇත්තේ, 2019 අප්‍රේල් මස 4 වනදා ශ්‍රී ලංකාවට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි ලැබුණු විදෙස් බුද්ධි තොරතුර සනාථ කරගැනීම වෙනුවෙන් බව කොමිසමේදී හෙළිවුණි.

කොමිසම හමුවේ අනාවරණය වූයේ, පූජිත් ජයසුන්දර මහතා රාජ්‍ය බුද්ධි සේවය , යතුරුපැදි පිපිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මැයි 5 වනදාට ප්‍රගති වාර්තාවක් ලබා දෙන මෙන් නියෝග කොට යවා ඇත්තේ 21 ප්‍රහාරය සිදුවීමෙන් පසුව තම කාර්යාලයට ගොස් සිටි අවස්ථාවක බවයි.

Read more

Local News