Home දේශීය පුවත් ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරයට බළ ගණ දෙකකට ජනපති වර්ණ (ඡායාරූප)

ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරයට බළ ගණ දෙකකට ජනපති වර්ණ (ඡායාරූප)

0
ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරයට බළ ගණ දෙකකට ජනපති වර්ණ (ඡායාරූප)

දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැප වීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පැවසීය.

ජාතියේ සුරක්ෂිතභාව අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

‘සුරකිමු ලකඹර‘ තේමා කර ගනිමින් දශක 07ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝනයට සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනයට රාජපක්ෂ මහතා අතින් වර්ණ ප්‍රදානය කළේය.

සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානය වන අතර මේ සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා ඇත.

මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණ දිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයන්ට ප්‍රශංසාව පුද කළ රාජපක්ෂ මහතා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කළේය.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝන ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කළේය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ රාජපක්ෂ මහතා ගුවන් නියමුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

‘ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය‘ තේමා කොට ගෙන එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව හෙතෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන මහත්වරු සහ බංග්ලාදේශ, පාකිස්තාන, එක්සත් ජනපද ෆැසිපික් ගුවන් හමුදා ප්‍රධානීහු, හිටපු ගුවන් හමුදාපතිවරු සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ සෙසු නිලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version