Home දේශීය පුවත් S.W.R.D බණ්ඩාරනායකයන්ගේ 63 වන ගුණානුස්මරණය අද

S.W.R.D බණ්ඩාරනායකයන්ගේ 63 වන ගුණානුස්මරණය අද

0
S.W.R.D බණ්ඩාරනායකයන්ගේ 63 වන ගුණානුස්මරණය අද

රට දැය සමය කෙරෙහි තම හදවත තුළ ඇති ආදරය, ගෞරවය, වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වන නායකයින් දුර්ලභයි. ආසියාවේ රිදී සීනුව ලෙසින් ලොව ගෞරවාදරයට පත් වූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන්ද එකී දුර්ලභ ගණයේ මානව හිතවාදී නායකයින් අතර පෙරමුණෙහිම සිටි යුග පුරුෂයෙකු බව ඉතිහාසය අදටත් සාක්ෂි දරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාද වන්නේ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයි. එක්තරා පැලැන්තියකට පමණක් හිමිව තිබූ වරප්‍රසාද සාමාන්‍ය ජනතාවටද භුක්ති විඳීමේ අවස්ථාව උදා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට බණ්ඩාරනායක මැතිතුමන් මූලිකත්වය හනිම කාගේත් ප්‍රසාදය දිනා ගැනීමට සමත් වූ බව කිව යුතුයි.

එක්දහස් නමසිය පනස් එක වසරේදී රටට හිතකර නොවූ ප්‍රතිපත්තිවලට විරෝධය පළකරමින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණා. ඉන්පසු රටට හිතැති දේශමාමක බලවේග එක්රැස් කර ගනිමින් පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටි කලකින්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ නව හැරුම් ලක්ෂය සනිටුහන් කිරීමට ද සමත් වුණා.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගය එකම වේදිකාවකට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයට හැකි වුණා. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව සිය ජීවිතයේ පරමාදර්ශය කරගත් ඔහු එක්දහස් නවසිය පනස් හයේ අප්‍රේල් දොළොස් වනදා මෙරට අගමැති ධූරයේ වැඩ බාරගනු ලැබුවා.

එයින් වසර තුනහමාරකටත් අඩු කාලයක් තුළ ඔහු ජනතා සේවයටම කැප වූ නායකයෙක් වූවා. බස් ජන සතුව, තෙල් ජනසතුව, මැයි දිනය නිවාඩු දිනයක් කිරීම,. සේවක අරමුදල පිහිටි රටේ විශ්ව විද්‍යාල පද්ධතිය දෙගුණයක් කිරීම, සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක කළ ජනතා සේවයන්ගෙන් කැපී පෙනෙන්නට වුණා.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ දැරුවේ මෙවන් මතයක්. මිනිසා විසින් තනන ලද සියලුම රසායනාගාර අතරින් ඉහළම සහ ඉතා වැදගත්ම රසායනාගාරය වන්නේ විශ්වවිද්‍යාලය බවයි.

අදට යෙදී තිබෙන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ගුණ සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා.

මෙයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version