ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.
මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහණ නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මඟින් එල්ල කරන ලද බෝම්බ ප්රහාරයන්ට ලක්වී නෞකාව ගිනිබත් වී ඇත. එමඟින් නෞකාවට ඇතිවූ හානිය හේතුවෙන් එය අතහැර අමා ඇති අතර, 1943 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින මෙම නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කොට ඇත.
නෞකාව ගොඩ ගැනීමේ සවිස්තරාත්මක සැළැස්ම විධාන කිමිදුම් නිලධාරී විසින් සකස් කළ අතර, ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඒඑල්එන්එස්එස් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද, ගිලී තිබූ නෞකාවේ පිරී පැවති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක් ද ඉදිකිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා අප්‍රතිහත ධෛර්යේ ප්‍රථිපලයක් ලෙස මාස 05 ක් පුරා සිදු කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව පසුගිය මාර්තු මස 22 වන දින ගිලී තිබූ සගයින් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතුපිටට ගනු ලැබීය.