ජනපති රනිල්ගේ 74 වන ජන්ම දිනය අදයි

ජනපති රනිල් වික්‍රමසිංහගේ 74 වන ජන්ම දිනය අදයි.

ඒ වෙනුවෙන් සියත අප තබන සටහන් දැන්.

වර්ෂ 1949 මාර්තු විසිහතර වනදා, එස්මන්ඩ් වික්‍රමසිංහගේ සහ නාලනී වික්‍රමසිංහගේ දෙවන දරුවා ලෙස, රනිල් වික්‍රමසිංහ උපත ලැබුවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබාගත් ඔහු, 1972 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ලංකා තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ ඉන් ලැබූ දේශපාලන පන්නරය ඔස්සේ බියගම ආසනය නියෝජනය කරමින් එක්දහස් නමසිය හැත්තෑ හතේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් පසුව යෞවන කටයුතු අමාත්‍ය ධූරයත්, අධ්‍යාපන අමාත්‍ය ධූරයත් හිමිකර ගැනීමට ඔහු සමත් වුණා.

ප්‍රේමදාස යුගයේ සභා නායක ධූරයත්, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරයත් හෙබවූයේ රනිල් ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම, ගුරු විද්‍යාපීඨය පිහිටුවීම, අධ්‍යාපන පරිපාලන සේවය ආරම්භ කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශස්ත පියවර රැසකට ඔහු මුල පුරනු ලැබුවා.

දෙදහස් දහනමයේ පැවති ජනාධිපතිවරණයේදී සිය පක්ෂය ලබාගත් පරාජයෙන් පසු ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව උදාකර ගත්තා.

මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස පසුගිය වසරේ ජූලි විසි එක් වනදා රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත්වුණේ අරගලයෙන් ඇති වූ දේශපාලන පෙරළියෙන් අනතුරුවයි.

ආර්ථික, සමාජයීය හා දේශපාලනික වශයෙන් මුළුමනින්ම රට අඩාල වී ඇති පසුබිමකයි ඔහු ජනාධිපති ධූරයේ වැඩ භාරගනු ලැබුවේ.

පරිණත දේශපාලනඥයෙකු ලෙස දීර්ඝ කාලයක් මෙරට දේශපාලනය තුළ අත්දැකීම් රැසක් ලැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හැත්තෑ හතර වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

රටේ අර්බුද සමනය කොට ජාත්‍යන්තරය හමුවේ අප රටෙහි අභිමානය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් වෙනුවෙන් වූ ජනතා සිහින බල ගන්වන්නට ශක්තිය ලැබෙන සුබ උපන්දිනයක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සියත ටීවී ඇතුළු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සුබ පැතුම් එක් කර සිටිනවා.

Exit mobile version