දුම්පානය අධෛර්මත් කිරීමට පියවරක්

දුම්පානය අධෛර්මත් කිරීමේ එක් පියවරක් ලෙස සියලුම දුම් කොළ නිෂ්පාදන ඇසුරුම්වල ඇති ආකර්ෂණීය බව අඩු වන පරිදි ”සම්මත ඇසුරුම්කරණය” හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

පසුගිය කාලය පුරා දුම්කොළ හා මද්‍යසාර භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල හි ප්‍රතිඵලයක් ලෙස 2011 පැවැති සියයට 29%ක් වූ වැඩිහිටි තැනැත්තන්ගේ දුම්කොළ පරිභෝජනය 2015 වර්ෂය දක්වා සියයට 24%කින් අඩු වී තිබේ. ඉදිරි වසර 4 ක කාලය තුළ එම අගය සියයට 15%ක් දක්වා අඩු කරගැනීම මඟින් දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ 6,000ක් පමණ වළක්වා ගැනීම රජයේ අපේක්ෂාව වෙයි.

මෙහිදී දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු හා කලු යන වර්ණ පමණක් භාවිත කළ හැකි අතර වෙළඳ නාමය ,නිෂ්පාදන නාමය නිශ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ හෝ අනිවාර්ය කළ තොරතුරු හෝ සලකුණක් හැර අන් කිසිවක් එම ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙනු නොලැබේ.

ඒ අනුව මෙරට අලෙවි කරනු ලබන සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා ”සම්මත ඇසුරුම්කරණය” හඳුන්වාදීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමේ අරමුණින් 2006 අංක 27 දරන ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීම හෝ එම පනත යටතේ රෙගුලාසි පැනවීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස වූ අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version