කිලිනොච්චියේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට කොරියාවෙන් මුදල් පරිත්‍යාගක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව දකුණු කොරියාවේ කොයිකා (KOICA) ආයතනය රුපියල් මිලියන 1,200කට ආසන්න මුදලක් පරිත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ දශක තුනක කාලයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් කඩා වැටුණු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා යි.

මේ යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල ගොඩනැගිලි හා විශේෂ පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහා දේශිය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමටත් මීට අමතරව මාපියන් සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ.

ඒ සඳහා වන ගිවිසුමට කොයිකා ආයතනය වෙනුවෙන් එහි දේශිය නියෝජිත ලී ඩොන් කු මහතා, අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් කළේය.

Exit mobile version