ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවය සහ විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන උළෙලට ඊයේ (30) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමින් ප‍්‍රකාශ කළේ,

දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට මහත් බාධාවක් බවට පත්ව තිබෙන බවත්, උගතුන් සහ බුද්ධිමතුන් මවුබිම හැරදා විදෙස්ගත වීම මෙයට හේතුවක් වන අතර, මාතෘභූමිය වෙනුවෙන් වූ ඔවුන්ගේ වගකීම් පිළිබඳ අද දවසේ නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස අප දියුණුව කරා පියමැනිය යුත්තේ අපේ උරුමය සහ සම්ප‍්‍රදායන් රැකගනිමින් බවයි. එහිදී ලාංකීය ඉංජිනේරුවන්ගේ දක්ෂතා, හැකියාවන් සහ නිර්මාණශීලිත්වය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කිරීමට ඉකුත් 45 වසර පුරා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ වෘත්තිකයින් අගයමින් සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Exit mobile version