අත්‍යාවශ්‍ය සේවාවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය වර්ජනය කිරීම අසාධාරණයි

තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කොට ඇති ඉල්ලිම් සාධාරණ බව පිළිගන්නා නමුත් ඔවුන් විසින් අරඹා ඇති වැඩ වර්ජනය අසාධාරණ යැයි තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඇම්.ඩී.බී මීගස්මුල්ල මහතා පවසයි.

එම වර්ජනයට අදාළ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පත් කර ඇත. එම කමිටුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ දෙපාර්තමේන්තුව ආදී ආයතන සමඟ සාකච්ඡා කරමින් මෙම ඉල්ලීම් වලට විසඳුම් සොයමින් සිටී.

එවැනි තත්වයක් යටතේ අත්‍යාවශ්‍ය සේවාවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය වර්ජනය කිරීම අසාධාරණ බවයි ලේකම්වරයා පැවසුවේ.

තැපැල් සේවක ඉල්ලීම් වලට මුල් වී ඇත්තේ 2006 දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයයි. තැපැල්, දුම්රිය ආදී දෙපාර්තමේන්තුවල උසස් වීම් වලට මෙයින් විශාල බලපෑමක් සිදු වෙනවා. එබැවින් මෙම ප්‍රශ්නය විසදීම ඉතා සංකීර්ණයි. එසේ වුවත් ඉදිරි දින කිහිපය තුළ මෙයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මීගස්මුල්ල මහතා වැඩිදුරටත් කීය.

මෙම තැපැල් වර්ජනය නිසා තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන විශ්‍රාම වැටුප් ගෙවීම සහ වැඩිහිටි දීමනා ගෙවීම සහ පින් පඩි දීමනා ගෙවීම් සහ රථවාහන වල දඩ පත්‍රිකා මගින් මුදල් අය කර ගැනීම ඇණ හිටිම නිසා මහජනතාවට මහත් හිරිහැර සහ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම විදේශ ලිපි බෙදාහැරීම්ද නතර වී ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ තැපැල් භාණ්ඩ කන්ටේනර් රාශියක් හිර වී තිබේ. ජාත්‍යන්තර තැපැල් සේවාවන් අතර විශ්ව තැපැල් සංගමයේ වර්ග කිරීම අනුව රටවල් 193කින් ප්‍රථම රටවල් 9 අතරට ශ්‍රී ලංකා තැපැල් සේවය පත් වී තිබේ. මෙම වැඩවර්ජනය හේතුකොට ගෙන එම තත්වය නැති වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් ඇති වීමට ඉඩ තිබෙන බවද තැපැල්පතිවරයා සදහන් කළේය.

වර්ජනය හේතුකොට ගෙන තැපැල් කාර්යාලවල සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 15ක් පමණ ගොඩ ගැසී ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් වර්ජනය ඇරඹිමෙන් පසු අළුතෙන් ලිපි නොලැබීම නිසා ලිපි ගොඩගැසීමට හේතුවක් නොමැති බවත් අබේරත්න මහතා කීය.

කෙසේ වුවද ලබන සතිය වන විට තැපැල් සේවකයින් යලි සේවයට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යංශයේ ලේකම් මීගස්මුල්ල මහතා පැවසීය.

Exit mobile version