ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන ආශ්‍රිතව සංස්කෘතික හා පාරිසරික කලාපයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ආගමික සිද්ධස්ථාන වන පිළිකුත්තුව රජමහා විහාරය, මාළිගාතැන්න රජමහා විහාරය, ඌරුවල බුලත්පිටිය වළගම්බා රජ මහාවිහාරය හා ඒ අවට ප්‍රදේශ සංස්කෘතික හා පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට යයි.

මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විහාරස්ථානවල නායක හිමිවරුන්, නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේ දී ඊයේ (15) පැවැත්විණි.

බොහෝ දෙනා පුරාවිද්‍යා නටඹුන් නැරඹීමට ඈත ප්‍රදේශවලට යන නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන 800ක් පමණ තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර පිලිකුත්තුව රජමහා විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව කියන ලෙන් 99ක් පිහිටි බවද පැවසීය.

සංස්කෘතික හා පාරිසරික කලාපයක් ඇති කොට දේශීය හා විදේශීය සංචාරකයින්ට ඒවා නැරඹීමට පහසුකම් වැඩිදියුණු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Exit mobile version