O/L සිසුන්ට උපදෙස් මාලාවක්

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

දෙසැම්බර් මස 03 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වෙන විභාගය පෙරවරු 08.30 ට ආරම්භ වන අතර පෙරවරු 08.00 ට පෙර සියළුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

විභාග ප්‍රවේශ පත්‍රයේ තමන් ඉල්ලුම් කරන ලද විෂයයන් ඇතුළු තොරතුරු නිවැරදිව ඇත්ද යන්න පිළිබඳ අයදුම්කරුවන් කල්වේලා ඇතිව පරීක්ෂා කළ යුතු අතර එහි යම් වෙනසක් ඇත්නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතුව අැත.

අයදුම්කරුවන් ස්මාට් අත්ඔරලෝසු, ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව විසින් ශාලාධිපතිවරුන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.

විභාග වංචා සිදුකරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියළු විභාග සඳහා පෙනී සිටීම වසර 05 කට තහනම් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

විභාගය පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ ළිබද වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට කටයුතු කරන ලෙස සියළු ශාලාධිපතිවරුන් වෙත දැනුම්දී ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම විභාග මධ්‍යස්ථාන පවතින පාසල් තුළ ඉදිකිරීම් කටයුතු, පන්ති, ක්‍රීඩා උත්සව, රැස්වීම් ආදිය පැවැත්වීම තහනම් වන අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාගයට අදාළව කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර අැත.

Exit mobile version