මෝදි හා සල්මාන් කුමරු හමුවෙයි

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුව සඳහා ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී තිබේ.

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියට සම්බන්ධ බවට එල්ල වන චෝදනා හේතුවෙන් සල්මාන් කුමරු මෙම සමුළුවට සහභාගි වීම පිලිබඳව ද ඇතමුන් පළ කරන්නේ විරෝධයනකි.

ඉන්දියාව සහ සෞදි අරාබිය අතර, ආර්ථික, සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි සල්මාන් කුමරු සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර, ජී – 20 සමුළුවට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටි ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්ගේ ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා කොලෝන් නුවරට හදිසියේ ගොඩබැස්සවීමට සිදුවීම නිසා ඇයට අද පැවැත්වෙන එහි සමාරම්භක උත්සවයට සහභාගි විය නොහැකි බව සඳහන්ය.

එමෙන්ම සමුළුවට සමගාමීව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද අවලංගු කර තිබේ.

යුක්රේන නෞකා රුසියාව විසින් රඳවා ගැනීම ඊට හේතුව ලෙස දක්වා තිබුණ ද ජනපති ට්‍රම්ප්ගේ හිටපු පෞද්ගලික නීතිඥයා අධිකරණය ඉදිරියේ සිදුකළ හෙලිදරව් කිරීමක් ඊට හේතු වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ මයිකල් කෝහේන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ රුසියානු ව්‍යාපෘති සම්බන්ධයෙන් තමා කරුණු සැඟවූ බවයි.

එය ජනපති ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට බලපෑමක් සිදුකළ හැකි ප්‍රකාශයක් ලෙසයි සැලකෙන්නේ.

Exit mobile version