කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ – අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියි.

පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් මෙහිදි අගමැතිවරයා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබුවා.

” ලංකාවේ ඉන්නේ සෘජුවම ජනතාව විසින් ජන්දයෙන් පත් කරන ලද විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කළ නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවේ සදහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70 (1) වගන්තිය ඉවත් කරයි කියලා ප්‍රකාශ කලාට ඇත්තටම සිදුවුනේ 70(1) යටතේ පාර්ලිමෙන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙන තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2) (ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නේ ‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමෙන්තුව කැදවිමටත්, වාර අවසන් කිරිමටත්, විසුරුවා හැරිමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හදුන්දුවාන් 33(2)(ඇ) වගන්තිය 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සදහන් වෙන්නේ නැහැ.

ඒ නිසයි වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණු බලතල අඩු කිරිමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණු බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි බව නිති විශාරදයින් සදහන් කරන බව මෙහිදි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ජන්දයක් පැවැත්විමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමෙන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තින්දුවක් කවුරු වුණත් ගන්නේ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමෙන්තුවට නොව ජනතාවට බවයි මෙහිදි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

Exit mobile version