ජනපති කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරය අරඹයි

කටාර් රාජ්‍යයේ රජු වන තමීන් බින් අහමඞ් අල් තානි රජුගේ ආරාධනය පරිදි කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (24) රාත්‍රියේ ඩෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
කටාර් ආර්ථික හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් ජසිම් මොහොමඞ් අල්තානි මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර කටාර්හි ශ‍්‍රී ලංකාවේ තානාපතිවරයා මෙන්ම ශ‍්‍රී ලංකාවේ කටාර් තානාපතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ පිළිගැනිමේ උත්සවයක් එරට තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.
සිය දෙදින සංචාරය තුළදී ජනාධිපතිතුමා කටාර් රජු සහ කටාර් අගමැතිවරයා මෙන්ම එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග  ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිතුමා සහ එරට විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡ අද (25) පස්වරුවේ පැවැත්වෙයි.
ශ්‍රී ලංකා – කටාර් ව්‍යාපාරික හමුවකට ද අද පස්වරුවේ ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර, කටාර් ඉස්ලාමීය කෞතුකාගාරය නැරඹීමට ද එක්වනු ඇත.
ශ්‍රී ලාංකිකයින් 140,000 ක් පමණ මේ වන විට කටාර්හි විවිධ ක්ෂේත‍්‍රවල සේවයේ නිරතව සිටිති. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිතුමා සිය සංචාරය තුළදී එක්වීමට නියමිතය.
Exit mobile version