ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කරනවා – ජනපති

කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman AI Thani මහතා අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, කටාර් ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ජනාධිපතිතුමා අදහස් දැක්වීය. දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටටම වාසිදායක නැවුම් සබඳතා රැසක් ඇතිකර ගැනීමට ජනාධිපිතතුමාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව කටාර් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සාර්ථක අවස්ථාවල මෙන්ම අසීරු අවස්ථාවන්වල ද ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යය සමඟ අඛණ්ඩව බැඳී සිටීම පිළිබඳව මෙහිදී කටාර් විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමුවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ විදේශ ප්‍රතිපත්තියේදී මැද මාවතක් අනුගමනය කරන ශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විට කටාර් රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍රවල සේවයේ නිරතව සිටින අතර ඉදිරියේදී ද ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට කටාර් රාජ්‍යය තුළ වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට කටාර් විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

මේ අතර අද පස්වරුවේ දෝහා නගරයේ පැවති කටාර් ශ්‍රී ලංකා විශේෂ ව්‍යාපාරික සහ ආයෝජන හමුව සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

කටාර් වාණිජ මණ්ඩලය සහ කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම හමුවට දෙරටේ ව්‍යාපාරිකයින් 150කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, සංචාරක මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් විසින් මෙහිදී පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කළ අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ වසන්ත සේනානායක යන මහත්වරුන් ද හමුව ඇමතීය.

කටාර් රාජ්‍යයේ වෙළෙඳ සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසක් ද මීට එක්ව සිටියහ.

Exit mobile version