අලුත් අවුරුද්දේ අලුත් ළමයි හෙට පාසල් යති

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මීට සමගාමීව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීමේ අරමුණින් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවන දරුවන් සඳහා “එකට වවමු එකට වැඩෙමු”යන මැයෙන් රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වෙයි.

දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරකම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වෙයි.

මේ වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක පියවර ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී හෙට සිදු කිරීමට නියමිතයි.

Exit mobile version