මත්ද්‍රව්‍ය ජාවාරමට, පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක විය යුතුයි

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.

පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවදානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සඳහන් කළේය.

දැවැන්ත පරිසර විනාශයත් සමඟ මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමාව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේ ය.

Exit mobile version