වෛද්‍ය අනුරුද්ධට එරෙහි පැමිණිල්ල මැයි 10 විභාගයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල මැයි මස 10 වන දා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ එම පැමිණිල්ල මාර්තු 10 වන දා විභාගයට ගන්නා බවයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ කොළඹ පැවති මහජන රැලියකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශ කරන ලද මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ නඩු තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කර ඇති බවයි.

ඒ තුළින් වගඋත්තරකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්  ඒ අනුව ඔහුට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Exit mobile version