අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප

ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්වීම සම්ධන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඇමති ආරක්ෂක නිලධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකාර ආරක්ෂක නිලධාරියා රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ පටබැඳිගේ මහතා විසින් නියම කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින මෙන් ද අවවාද කරනු ලැබීය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා ඇප කොන්දේසියක් පනවමින්  ප්‍රකාශ කළේ.

ඉකුත් නොවැම්බර් මස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අමාත්‍ය අර්ජුන රණතුංග පිවිසි අවස්ථාවේ ඇතිවූ කලහාකාරී සිද්ධියේදී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Exit mobile version