ශ්‍රී ලංකාවේ කිරිගොවිපල සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 21 ක ප්‍රදානයක් ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළ කරයි

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් ඒ ෂැනොන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ දී ප්‍රකාශ කර අැත්තේ ශ්‍රී ලංකාවේ කිරිගොවිපල සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 21 ක ප්‍රදානයක් ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළ කර අැති බවයි.

අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑම පිළිබඳව තම රටේ ගෞරවනීය අවධානය යොමු වී ඇති බව ද කීය.

ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උනන්දුව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට අමෙරිකාව සූදානම් බව ද ඒ මහතා පැවැසීය.

එසේම වෙරළාරක්ෂණ කාර්යයන් උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිය අත්දැකීම් හා තාක්ෂණය ලබා දීම සම්බන්ධයෙන් ද සහකාර රාජ්‍ය ලේකම්වරයා අදහස් දැක්වීය.

ඉන්දීය සාගර කලාපය නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ වැදගත්කම, ශ්‍රී ලංකාවේ නව සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අභිප්‍රාය හා අභිලාශය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ මට්ටමින් සම්බන්ධතා ඇති කරලීමේ වැදගත්කම පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

 

Exit mobile version