Home දේශීය පුවත් බිස්කට්, රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක්

බිස්කට්, රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක්

0
බිස්කට්, රසකැවිලි සඳහා නව වර්ණ සංකේත ක්‍රමයක්

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැණිබීම සමාගම් සීනි භාවිතය සියයට 10 කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වසරේ සිට පැණිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑමයකටම සත 50ක බද්දක් අය කළා. මේ නිසා පැණිබීම වෙළෙදාම අඩු වූ නිසා සීනි රහිත බීම වෙළෙදපොළට හදුන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් 2018 වසරේ සිට බිස්කට් සහ රසකැවිලි සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තොරතුරු රැස් කළා. බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය සංවිධානාත්මක කර්මාන්තයක්. තවත් අතකින් සුළු පරිමාණ මට්ටමින් රසකැවිලි නිෂ්පාදකයින් ද සිටින නිසා එය විශාල ජාලයක් වී තිබෙනවා. සංවිධානාත්මක රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80,000ක් වෙනවා. එහිදී සීනි භාවිතය අඩු කළ යුතුයි. මේ පිළිබඳව එම නිෂ්පාදකයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

අපේ රටේ දේශීය නිෂ්පාදන කර්මාන්තයක් වන බිස්කට් නිෂ්පාදකයින් රටවල් 55 කට සිය නිෂ්පාදන අපනයනය කරනවා.

එම නිසා ජාත්‍යන්තරයත් පිළීගන්නා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමට ඔවුන් එකඟතාවයට පැමිණියා. එම නිසා තමයි සීනි පරිභෝජනය අඩු කිරීමේ වැඩපිළිවෙලට එම සමාගම් දායකත්වය දක්වන්නේ.

මෙම නීතිය අප්‍රේල් මස 02 දින සිට ක්‍රියාත්මකයි. බිස්කට් සහ රසකැවිලි වල සීනි, ලුණු, මේදය සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කරන අතර භාෂා ත්‍රිත්වයකින්ද කරුණු ඉදිරිපත් කළ යුතුයි. බිස්කට් වර්ග සහ රසකැවිලි වල ඒවා අඩංගු ප්‍රමාණ ද සටහන් විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version