සම්පත් දයානන්ද 4 වනදා දක්වා යළි රිමාන්ඩ්

2008 වසරේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරි කැඳවනු ලැබීය.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව දන්වා සිටියේය.

මෙම සිද්ධිය වූ වකවානුවේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත පෙරේරා මහතා සහ එවක නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ආනන්ද ගුරුගේ මහතා මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව දැනුවත්ව සිටි බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඊට අදාලව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 4 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියම කළේය.

Exit mobile version