බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සඳහා නීති දැඩි වෙයි

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා අද(01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකෙරෙන බවට වාර්තා වෙයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියාසිටියේ මගීන්ට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ද අද සිට වැටලීම් මාලාවක් ආරම්භ කරන බවයි.

මගීන්ට ප‍්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසීය.

බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට පිටින් යමින් වෙනත් වර්ණයක් භාවිතා කර තිබේනම් ඒවා වහා නිවරැදි විය යුතු බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ද අද සිට ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට ලබාදෙන මාස තුනක සහන කාලය තුළදී සියළු පෞද්ගලික බස් රථ අදාළ පැහැය ගැන්විය යුතුයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න සඳහන් කළේ බස්රථ සේවකයින්ට ලබාදී ඇති නිල ඇදුමද අද සිට දැඩිව පරීක්‍ෂා කරන බවයි.

බස්නාහිර පළාත තුළ මාර්ග 435 කට වැඩි ප‍්‍රමාණයක ධාවනය කෙරෙන මුළු බස් රථ සංඛ්‍යාව 6,000 ක් පමණ වෙයි. පෞද්ගලික බස් රථවලින් බස්නාහිර පළාතේ සේවය ලබාගන්නා පිරිස් දිනකට ලක්‍ෂ 22 කට ආසන්නයි.

Exit mobile version