බැඳුම්කර සිද්ධියට සම්බන්ධ 5කට ඇප

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි perpetual treasuries සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

ඒ අනුව ජෙෆ්රි ඇලෝසියස් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන අය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය.

එමෙන්ම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සෙසු අධ්‍යක්ෂවරු තුන් දෙනා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය.

අනතුරුව මෙහි සියලුම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය.

අනතුරුව පැමිණිල්ල නැවත ලබන 30 වනදා කැදවීමට නියම කර තිබේ..

මෙසේ ඇප මත නිදහස් කළ සැකකරුවන් වන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අයයි.

Exit mobile version