රසායනාගාර සහාය සේවාව දීප ව්‍යාප්ත වෙයි

රසායනාගාර සහාය සේවා නියුක්තිකයින්ගේ පුහුණු කාලය මාස 03 ක් දක්වා වැඩි කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

1987 වසරට පෙර බිහි වූ රසායනාගාර සහාය සේවාව මේ වන විට දීප ව්‍යාප්ත කර ඇත. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී රෝග විනිශ්චයට රසායනාගාර වාර්තා ඉතාමත් වැදගත් වෙයි.

තව ද මෙම සේවාවේ නිල නාමය වෙනස් කිරීමට ද තම අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රසායනාගාර සහාය සේවා නියුක්තිකයින්ගේ 32 වන මහා සමුළුවට එක්වෙමිනි.

මෙම සමුළුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම උත්සවයේ දී දිවයිනේ හොඳම රසායනාගාර සේවිකාවට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමූ අතර, මෙම සේවාව වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ සහයෝගයට තුති පුද කරමින් සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ තිළිණයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීයානි පෙරේරා, සංගමයේ සභාපති දමන්ත පුෂ්පකුමාර, ලේකම් දිනේෂ් පෙරේරා මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියේය.

Exit mobile version