කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුව අද(09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සඳහන් කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයා ලබාදුන් ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය විමර්ශනය කිරීමෙන් අනතුරුව එහි ප්‍රගතිය වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබේ.

මේ අතර සිද්ධීයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ හා හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළේය.

Exit mobile version