Home විදෙස් පුවත් සියලුම කතෝලික දේවස්ථානවල ඝාණ්ටාර එකවර නාද කරයි

සියලුම කතෝලික දේවස්ථානවල ඝාණ්ටාර එකවර නාද කරයි

0
සියලුම කතෝලික දේවස්ථානවල ඝාණ්ටාර එකවර නාද කරයි

ඓතිහාසික නොත්‍ර දාම් දේවස්ථානයේ ඇතිවූ ගින්න යළි සිහිපත් කර ප්‍රංශයේ සියලුම කතෝලික දේවස්ථානවල ඝාණ්ටාර එකවර නාදකිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය යළි ප්‍රතිසංස්කරණය සඳහා අනුග්‍රහය දක්වන දානපතියන් රජයට බදු ගෙවීමෙන් නිදහස් වන බවයි.

හදිසි ගින්නකින් විනාශයට පත්වූ පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත්  නොත්‍ර දාම් දේවස්ථානය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිලිපින්ගේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය එඩුවා පිලිප් පවසයි.

එම කර්තව්‍යය  ‘වඩාත් ආකර්ෂණීය’ ලෙස සිදුකරමින් එහි කටයුතු වසර පහක් තුළ නිම කරන බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පසුගියදා ප්‍රතිඥාවක්ද දුන්නේය.

පැරිස් නගරයේ පිහිටි මෙම ගොඩනැඟිල්ල ගොතික් සම්ප්‍රදායට අයත් නිර්මාණයක්.

වසර 850ක් පමණ පැරණි මෙම ගොඩනැඟිල්ලේ පසුගිය  සඳුදා ඇතිවූ විශාල ගින්නකින් හානි සිදුවිය.

දේවස්ථානයේ කොත ගිනිබත් වී කඩා වැටුණු අතර වහලයේ බොහෝ කොටසක් ගින්නෙන් විනාශ වී ගියේය.

ගින්න නිසා තව සුළු මොහොතක් පමා වූයේ නම් දේවස්ථානය සම්පුර්ණයෙන් විනාශ වීමට පවා ඉඩ තිබූ බව නිලධාරීන්  පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ පොරොන්දුව කුමක් වුවද ප්‍රතිසංස්කරණය සම්පුර්ණ කිරීමට දශක කිහිපයක් ගත විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙයි.

ගින්නට හේතුව සෙවීමට 50 දෙනෙකු පත්කර තිබේ.

මෙය වුවමනාවෙන් ඇති කළ ගින්නක් ලෙස මෙතෙක් නොසලකන අතර එය අනතුරක් ලෙසයි සැළකෙන්නේ.

මේ වන විට මෙම යුනෙස්කෝ ලෝක උරුමය නැවත ගොඩනැගීම සඳහා විවිධ සමාගම් සහ ධනවතුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 902ක් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.

ඔවුන් රජයට බදු ගෙවීමෙන් නිදහස් වන බවයි  අග්‍රාමාත්‍ය එඩුවා පිලිප් කියා සිටියේය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ දානපතියන් මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ බදුවලින් නිදහස් වීම සඳහා බවට ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ විවේචන බැහැර කරමින්.

නොත්‍ර දාම් දේවස්ථානයට සිදු වූ හානිය පිළිබඳව තවමත් කම්පාවට පත්ව සිටින එරට කතෝලික දේවස්ථාන පසුගියදා පස්වරු 6.50 ට  රට පුරා දේවස්ථානවල ඝණ්ටාර එකවර නාද කිරීමට පියවර ගත්තේය.

ගින්න ප්‍රථමයෙන් හඳුනාගෙන තිබුණේ ද එම කාලය තුළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version