කිම් ජොන් අන් රුසියානු සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියා රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

2002 වසරෙන් පසුව රුසියානු ජනාධිපති උතුරු කොරියානු නායකයෙක් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.

මිට පෙර වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියා සහ රුසියානු ජනපතිවරයා අතර හමුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිට පෙර උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පසුගිය පෙබරවාරි මාසයේ සිදුවූ අතර එහිදී දෙරටේ නායකයින් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත් විය.

න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති උතුරු කොරියාව අමෙරිකාව සමඟ සාකච්ජා අසාර්ථක වීමෙන් පසු පළමු වරට නව උපාය මාර්ගික අවියක් අත්හදා බලනු ලැබුවේ මිට දින තුනකට ඉහතදීයි.

උතුරු කොරියාව එම අවිය අත්හදා බැලීමෙන් පසුව රුසියාව උතුරු කොරියා නායකයාට සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුව සිදුවන ස්ථානය සහ දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් රුසියාව විසින් නිකුත් කර නොමැති අතර මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version