පෙට්ට්‍රල් හිඟයට වගකිවයුත්තන් සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක්

හදිසි පෙට්ට්‍රල් හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් නිශ්චිතවම වගකිව යුතු නිළධාරීන් හඳුනාගැනීම පිණිස තාක්ෂණික දැනුම සහිත නිළධාරීන් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර වාර්තාවක් ලබාගන්නැයි පෙට්ට්‍රල් හිඟයට තුඩු දුන් හේතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු අමාත්‍ය අනු කමිටු නිර්දේශ කොට ඇත.

ඛණිජ තෙල් තොග කළමණාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පවතින දුර්වලතා පෙට්ට්‍රල් හිඟය ඇතිවීමට මුලික හේතුව බවද එම කමිටු වාර්තාවේ දැක්වේ.

එසේම මෙවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇතිවීම වැළැක්වීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමණාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදි නිර්දේශ ද එම අනුකමිටු වාර්තාවේ දක්වා ඇත.

නොවැම්බර් මස මුල් සතියේ පැවැති පෙට්ට්‍රල් හිඟය පිළිබඳව පරීක්ෂා කිරීමට පත්කරන ලද අමාත්‍ය අනුකමිටුවේ සභාපති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මෙම වාර්තාව ඊයේ (14) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දී තිබුණි. පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වුහ.

මෙම අමාත්‍ය අනුකමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ පරිදි ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය

Exit mobile version