හේමසිරි හා ‍පොලිස්පතිගෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලය ප්‍රකාශ සටහන් කර ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අප්‍රේල් 21 වන දා දිවයිනේ ස්ථාන 08ක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලය අප්‍රේල් 22වන දා සිට එහි වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

විශේෂ පරික්ෂණ මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත්.කේ.මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වන අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතායි.

උසස් රාජ්‍ය නිලධාරින් ගණනාවකගෙන් පරික්ෂණ මණ්ඩලය මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත ජයසුන්දර මහතා ද ඇතුළත් විය.

තවත් පුද්ගලයන් ගණනාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් අදහස් හා තොරතුරු විශේෂ පරික්ෂණ මණ්ඩලය වෙත දන්වා එවීමට ප්‍රසිද්ධ පුවත්පත් ගණනාවක අප්‍රේල් 25 වන දා ප්‍රසිද්ධ කළ ප්‍රවෘත්ති දැන්වීම මඟින් මහජනයාගෙන් සහ ආයතනවලින් ඉල්ලීමක් ද කර ඇත.

එසේ තොරතුරු දැක්වීමට අකමැති අයවලූන් ලිඛිතව එම තොරතුරු විශේෂ පරික්ෂණ මණ්ඩලයේ ලේකම් වෙත, තැ.පෙ. 2306, කොළඹ 01.  ලිපිනයට හෝ  ෆැක්ස් අංක 011-2100446 වෙත හෝ Presinq@eastsun.gov.lk  නමින් වූ විද්‍යුත් තැපෑලට යොමුකරන ලෙස විශේෂ පරික්ෂණ මණ්ඩලය ඉල්ලා සිටී.

Exit mobile version