පාසලකට එක් පොලිස් නිලධාරියා බැගින් දෙන්න එකඟතාවයක්

එළඹෙන 6 වැනිදා පාසල් ආරම්භ කරන අවස්ථාවේදී පාසල්වලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ අද(02) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නැවත පාසල් ආරම්භ කිරීමට නම් සියලු පාසල් දැඩි ආරක්ෂාවක් ලබා දිය යුතු බවට ආරක්ෂක අංශවලින් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස ඉල්ලීම් කරනු ලැබූ බවත්, ඒ අනුව එම වගකීම බාර ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා, පාසල් ආරම්භය සමඟ එක් පොලිස් නිලධාරියෙක් හෝ එක් පාසලකට ලබා දීමට එකඟතාවය පළ කර ඇතැයි ද පැවසීය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුවක් ලෙස ගෙන ඇති බවත්, ඊට අමතරව විදුහල්පතිවරුන්ට ද මේ ගැන දන්වා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පාසල් ආරම්භ කිරීම ගැන තනිව තීරණයක් නොගත් බවත් සියලු ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර එම තීරණය ගත් බවත් කියා සිටි අමාත්‍යවරයා කතෝලික පාසල් සම්බන්ධයෙන් තීරණයක් ගන්න ආගමික නායකයින්ට අවස්ථාව ලබා දුන් බව ද පැවසීය.

Exit mobile version