දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විමසීම් අද අරඹයි

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය කිරීම සඳහා රජය මඟින් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විමසීම් කටයුතු අද (22) ආරම්භ කරයි.

එම විශේෂ මහාධිකරණය සඳහා පත්කරන ලද ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රනරාජ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහාධිකරණය අංක 1 ශාලාවේදී මෙම නඩු විමසීම කටයුතු ආරම්භ කළේය.

එහිදී පළමු නඩුව වශයෙන් රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කුලියාපිටිය මූලික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආර්.එම්.සී.තෙන්නකෝන්වෙල මහතා වෙත අධිචෝදනා පත්‍ර බාර දෙන ලදී.

ඉන් අනතුරුව විත්තිකාර වෛද්‍ය වරයා රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අධිකරණය විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බව නියෝග කළා.

2016 වසරේ ජුනි මස 01 වනදා සිට එම අගෝස්තු මස 31 වනදා දක්වා කාලසීමාව තුළ කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්යය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබාදීම සඳහා මාසිකව රුපියල් 25000/- බැගින් අල්ලස් ඉල්ලා රුපියල් 75000/- ක් අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම එම වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

Exit mobile version