සිංහල බෞද්ධකම ගැන සජිත් කියයි

සිංහල බෞද්ධකම ගැන පිරිසක් අද උජාරුවට කථා කරමින් එය තම පෞද්ගලික සුබ සිද්ධිය සහ බලයට ඒම සඳහා ආයුධයක් කර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සැබෑ සිංහල බෞද්ධකම වන්නේ මෙරට පන්සල් පද්ධතිය සුරක්ෂා කරමින් සංවර්ධනය කිරීම බවත්, එය වත්මන් රජය යටතේ සිදුවන බවත් පැවසූ අමාත්‍යවරයා, සිංහල බෞද්ධකම ගැන අද කතා කරන උදවිය එදා බලයේ සිටියදී මෙරට විහාරස්ථානවල සංවර්ධනයට කිසිවක් නොකළ බවත් ප්‍රකාශ කළේය.

ජනතාවට නොමිලේ ඉඩම් ලබාදී එහි නිවාස ඉදිකර වසර 2025 දී සැමට සෙවණ ලබා දෙනවා සේම, මෙරට සියලු ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගත කිරීම උදෙසා පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදීමේ ජාතික මෙහෙවර ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට කාලය එළඹ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතා මනාපයෙන් ගරු නම්බුනාම ලබා ගන්නා පාලකයින්ට පිරිසිදු පානීය ජලය හිමිවන විට ඔවුන් බලයට පත්කළ ජනතාවට හිමිවනුයේ අපිරිසිදු පානීය ජලය බවත්, පාලකයින්ට බලය හිමි වූ පසුව ජනතාවගේ මානව අයිතීන් පිළිබඳව සොයා බලනුයේ කිහිප දෙනෙකු පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ, මහඔය, දඹදෙණිය ප්‍රදේශයේ ඉදිකළ “සත්නිම්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(26) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 191 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සත්නිම්ගම” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 190 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 25 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 41 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 25 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, වකුගඩු රෝගීන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ50 ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 45 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහය.

Exit mobile version