බන්ධනාගාරවල බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කරයි

බන්ධනාගාරවල බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා සඳහන් කළේ, බන්ධනාගාර 32 ක්, කාණ්ඩ 3 කට වෙන් කර එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ඒ කාණ්ඩයට දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති වැලිකඩ, මැගසින්, ගාල්ල, කළුතර සහ දුම්බර බන්ධනාගාර අයත් ය.

එම බන්ධනාගාර ආශ්‍රිතව සිදු කරන මෙහෙයුම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇතැයි ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

සී කාණ්ඩය යටතේ නම් කර ඇති බන්ධනාගාරවලට අයත් වන්නේ කුරුවිට සහ වටරැක බන්ධනාගාරයි.

සෙසු බන්ධනාගාර බී කාණ්ඩය යටතට නම් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා පැවසුවේ, බන්ධනාගාර බුද්ධි අංශය නිලධාරීන් 98 දෙනෙකුගෙන් සමන්විත බවයි.

පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් අඩාලවී තිබු අතර නැවත එම මෙහෙයුම් සක්‍රිය කළේ, මීට දින කිහිපයකට පෙර බව ද ඔහු පැවසුවේ ය.

බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් සහ සිරකරුවන් හමුවීමට එන ඥාතීන් හඳුනාගැනීම සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ ඇති නීති විරෝධි ද්‍රව්‍ය හඳුනා ගැනීම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට අයත් ප්‍රධාන කාර්යයන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

Exit mobile version