ලක්ෂ 50ක අයිස් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද(27) උදෑසන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්දීය ජාතිකයා නිතර නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි අයෙකු වෙයි.

ඔහු අද උදෑසන 8.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, ගුවන් තොටුපළ තුළ අත් හැරුණු ගමන් මල්ලක් රැගෙන යෑම සඳහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිට තිබේ.

මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන්, එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි පැත්තක දුඹුරු පැහැති කඩදාසි කොළ වල ඔතා සාරි ගොඩක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල තරුණයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය මත්ද්‍රව්‍යක් බව රේගුව අනාවරණය කරගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version