මරණ දණ්ඩනයට එරෙහිව 11 වන පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණයට

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද (01) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ගල්කන්දේ ධම්මානන්ද හිමි, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කේ සේනාරත්න සහ දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් කිහිප දෙනෙකු ද සිය නීතිඥවරු මාර්ගයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ,අධිකරණ අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , වැලිකඩ බන්ධනාගාර අධිකාරි ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය තුළින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම කරුණට අදාළව ඉදිරිපත් වී තිබෙන සමස්ත මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version