හේමසිරි ප්‍රනාන්දු හෙට දක්වා රිමාන්ඩ්

මීට ටික වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ ජාතික රෝහලට පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේත්, හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේයි.

අදාළ ලිපිය මගින් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ බෝම්බ ප්‍රහාර මාලාව මගින් සිදුවූ හානි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනොගේ සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වය මත සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු සහ ලේඛනමය සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තාකර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන්නැයි නීතිපතිවරයා වැඩිදුරටත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණි.

මෙවන් පසුබිමක පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත්වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පස්වරුවේ ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවත්, නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවත් අත්අඩංගුවට ගනු ලැබුණි.

මේ අතර අද(02) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

Exit mobile version