Home දේශීය පුවත් පූජිතට, හේමසිරිට එරෙහි පෙත්සම් සලකා බැලීම 25 දාට කල්යයි

පූජිතට, හේමසිරිට එරෙහි පෙත්සම් සලකා බැලීම 25 දාට කල්යයි

0
පූජිතට, හේමසිරිට එරෙහි පෙත්සම් සලකා බැලීම 25 දාට කල්යයි

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මෙම සිද්ධියට අදාළව විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් 12 ක් අද(12) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා ඇත්තේ එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවයි.

තමන් නීතිපතිවරයා සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බී. දිසානායක මහතා යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවයි දප්පුල ද ලිවේරා මහතා දන්වා සිටියේය.

මෙම පෙත්සම්වලට අදාළ ඇතැම් වගඋත්තරකරුවන්ගේ විරෝධතා තමන් වෙත ලැබුණේ ඊයේ(11) පෙරවරුවේ බවද නීතිපති ලිවේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ආරම්භ කරන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි බොහෝමයක් පෙත්සම් වලින් ඉල්ලා තිබෙන ප්‍රධාන සහනය බව පෙන්වා දුන් නීතිපති ලිවේරා මහතා එම සහනය දැනටමත් ඉටු වී ඇති බව පෙන්වාදී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා ලබන 18 වනදාට පෙර ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකාර පාර්ශවයට නියම කර ඇත.

එම විරෝධතා වලට යම් ප්‍රතිවිරෝධතාවක් තිබේනම් ඒවා ද ලබන 23 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියම කර ඇත.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 25 සහ 26 යන දිනවල සිදුකරන බව ද සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version