නිධන් සොයා කැණීම් කළ 8ක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ හදපානාගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගල් කොරියක් ආසන්නයේ නිධන් සොයා කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දිසා පුරා වස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය ඊයේ(15) රාත්‍රී සමත් විය.

සැකකරුවන් විසින් එම ඉඩමේ ඇති කළු ගලක් ආසන්නයේ කුහරයක් විදිමින් පුද පුජා පවත්වමින් මෙම කැනීම් සිදු කරමින් සිටින අතර තුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 40ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් කොළඹ, තංගල්ල, මහනුවර සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක් සහ පුජා භාණ්ඩ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

Exit mobile version